A/L student commits suicide by jumping into well, alleging that her parents opposed her love

ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගෙන දෙමාපියන් ලබාදුන් අවවාදයක් හේතුවෙන් උරණ වූ, 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබේ. මෙම ශෝකජනක සිදුවීම වවුනියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වේ.



පසුගිය 11 වන සඳුදා, උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති මෙම සිසුවිය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන්, දෙමාපියන් විසින් වවුනියාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව විමර්ශන ආරම්භ කළ බව වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධීර ජයකොඩි මහතා පැවසීය.



විමර්ශන අතරතුර, පෞද්ගලික උපකාරක පන්තියක් අසල ළිඳක් අසල තිබී දැරියගේ පාවහන් යුගලක් නගර සභා සේවකයින් පිරිසකට හමුවී ඇති අතර, ඔවුන් ඒ බව පොලීසියට දැනුම් දී තිබේ. පසුව ප්‍රදේශවාසීන්ගේ සහ සේවකයින්ගේ සහාය ඇතිව ළිඳ පරීක්ෂා කිරීමේදී දැරියගේ සිරුර සොයාගෙන වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

දේහය සම්බන්ධයෙන් ඊයේ (12) දින පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මරණයට හේතුව දියේ ගිලීම බවට තීරණය වී ඇත. වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම සිසුවිය, සිය ප්‍රේම සම්බන්ධතාවට දෙමාපියන් විරුද්ධ වීම හේතුවෙන් මෙම දරුණු තීරණය ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.